Friday, January 10, 2025
HomeLocalරජයේ ආර්ථික පීඩනය අවම කරගැනීම සඳහා මැයි මාසයේ වැටුපම හෝ ඉන් කොටසක්...

රජයේ ආර්ථික පීඩනය අවම කරගැනීම සඳහා මැයි මාසයේ වැටුපම හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් රජයේ සේවකයින්ගෙන් ඉල්ලයි.

රජයේ ආර්ථික පීඩනය අවම කරගැනීම සඳහා මැයි මාසයේ වැටුපම හෝ ඉන් කොටසක් පරිත්‍යාග කරන්නැයි ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියලුම රජයේ සේවකයින්ගෙන් පෞද්ගලිකවම ආයාචනා කරයි.

තමන් ද මැයි මස වැටුප වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කළ බව පවසන ඒ මහතා ඒ අයුරින්ම සියලු රජයේ සේවකයින් එක් මසක වැටුප නොගෙන එය වැන්දඹු හා අනත්දරු අරමුදලට පරිත්‍යාග කරන්නේ නම් රජයේ මැයි මස වියදම අඩුවී ආදායම වැඩිවී දැඩි පීඩනයකට ලක්ව ඇති ණය කළමනාකරණය කරගැනීමට පහසුවක් වනු ඇති බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.

රජයේ සේවකයින්, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, බැංකු සහ රක්ෂණ වැනි රජයේ ආයතන සේවකයින්ගේ වැටුප් සහ දීමනා වෙනුවෙන් මාසිකව රුපියල් බිලියන 100කට ආසන්න ප්‍රමාණයක් වැය වන බව ද ඒ මහතා පෙන්වා දී තිබේ.

මේ සඳහා රජයේ සේවකයින් දිරිමත් කරන ලෙස ඉල්ලමින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත ආයතනවල ප්‍රධානීන් ඇතුළු සියලුම රාජ්‍ය නිලධාරීන් වෙත ජනාධිපති ලේකම්වරයා යොමු කළ ලිපිය පහතින් දැක්වේ.

ජනාධිපති ලේකම්වරයා මෙම යෝජනාව කරළියට ගෙනා පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර අප්‍රේල් 17 වනදා ද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කර තිබිණි.

කෙසේවෙතත් රජයේ ණය අර්බුදය කළමනාකරණය කරගැනීම සඳහා සමස්ත රාජ්‍ය සේවකයින්ගේ මසක වැටුප ඉල්ලා ආයාචනා කරන මට්ටමට රජයේ පළමු නිලධාරියා වැටී ඇත්නම් ඉන් පෙන්නුම් කෙරෙන්නේ රටේ ආර්ථික තත්වය අතිශයින්ම බරපතළ ඉරණමක් හමුවේ පවතින බවයි. එමෙන්ම රටේ තත්වය අතිශයින්ම ශෝකජනක බවයි. ඒ, ඉහළ පැළැන්තියේ රජයේ නිලධාරීන් හැරුණු විට සාතිශය බහුතරයක් රජයේ සේවකයින් තමන්ගේ සීමිත මාසික වැටුපෙන් පවුලේ වියදම් ගැටගසා ගන්නේ කෙළෙසදැයි දස අතේ කල්පනා කරමින් සිටින මොහොතක එකී පඩිපතෙන් ණය අර්බුදය කළමනාකරණය කරගැනීමේ සිහින දකින ලොක්කන් යටතේ පාලනය වන්නට රටට සිදුව ඇති නිසාය.

- Advertisment -

Most Popular

Recent Comments