Wednesday, January 22, 2025
HomeLocalකොරෝනා ආසාදිතයින් ගණන 1915ක් දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන 1915ක් දක්වා ඉහළට

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් ගණන 1915 ක්.

අද (16) තවත් කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු හඳුනා ගැනුණි.

ඒ අතරින් 6 දෙනෙකු නාවික හමුදා සාමාජිකයන්.

ඔවුන් නිරෝධායනය සඳහා යොමු කර සිටි පිරිසක් බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුවකොවිඩ් ආසාදනය වූ මෙරට සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 899 ක්.

ඒ අතරින් තවත් 28 දෙනෙකු සුවය ලැබීමත් සමඟ නාවික සාමාජිකයින් 740 දෙනෙකු අදවනවිට පූර්ණ සුවය ලබා සිටියි.

රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ නාවික හමුදා සාමාජිකයින් 159 දෙනෙකු පමණයි.

නාවික හමුදා සාමාජිකයන්ට අමතරව අද වාර්තා වූ සෙසු ආසාදිතයින් සිව්දෙනාම උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා ඊයේ මෙරටට පැමිණි ඉරාන ජාතිකයන්.

ඊයේ ඉරානයේ සිට කාර්මික ශිල්පින් 85 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දිවයිනට පැමිණි අතර එම සියල්ලන්ගේම PCR පරීක්ෂණ ගුවන් තොටුපොළේදී සිදු කොට ඔවුන් නිරෝධායනයට යොමු කෙරුණි.

ඔවුන් උමා ඔය ව්‍යාපෘති භූමියට යොමු කෙරෙන්නේ නිරෝධායන කාලය අවසන්වීමෙන් පසු තවත් PCR පරීක්ෂණයකට යොමු කිරීමෙන් පසුවයි.

මේ අතර කොවිඩ් 19 ආසාදනය වී සිට සුවය ලැබූ කතකට යළිත් වරක් කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුව තිබේ.

අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අදාල කාන්තාව කුවේට් හී සිට මෙරටට පැමිණ ඇත්තේ ඉකුත් මැයි මස 18 වනදායි.

ඇය ආසාදිතයෙකු ලෙස හඳුනාගැනුණේ ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින අවස්ථාවේදී.

ප්‍රතිකාර ලැබූ අදාළ කාන්තාව සුවය ලබා මීට දින දෙකකට පෙර කැබිතිගොල්ලෑවේ පිහිටි නිවස වෙත ගොස් තිබුණි.

එහිදි යළිත් වරක් කොවිඩ් 19  රෝග ලක්ෂණ මතුවීම හේතුවෙන්  අනුරාධපුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබේ.

ඇයට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ එහිදී සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණයෙදියි.

මේ අතර කොවිඩ් ව්‍යාප්තිය නිසා වසා දැමුණු දිවා සුරැකුම් මධ්‍යස්ථාන සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එළඹෙන ජූලි පළමුවැනිදා සිට විවෘත කිරීමට රජය තීරණය තීරණය කර ඇත.

කෙසේ වෙතත් පෙර පාසල් විවෘත කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශ කර නැත.

- Advertisment -

Most Popular

Recent Comments