Friday, May 24, 2024
HomeLocalඅවුරුදු සිරි අසිරිය උතුරා යාම නිසා කොවිඩ් යළිත් හිස ඔසවයි - ඊයේ...

අවුරුදු සිරි අසිරිය උතුරා යාම නිසා කොවිඩ් යළිත් හිස ඔසවයි – ඊයේ පමණක් ආසාදිතයින් 367යි

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද මෙවර රටේ බොහෝ දෙනෙක් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් සැමරීමට කටයුතු කරන ලදී.ඒ නිසාවෙන් බොහෝ දෙනෙක් තමන්ගේ නෑදෑ හිතුවතුන් බැලීමට සංචාරය කරන අන්දම දැක ගන්නට ලැබුණි.කෙසේ වෙතත් මෙම සංචරණ තත්වය ඉහළ යාම නිසා මේ වන විට පිට පිට තුන්වන දිනටත් මෙරටින් වාර්තා වන දෛනිකව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ යළිත් 300 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 367 කි. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 94 ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

ඉන් ආසාදිතයින් 13 දෙනෙකු පන්නිපිටිය ප්‍රදේශයෙන් සහ ආසාදිතයින් 11 දෙනෙකු මොරටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබේ.ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 54 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 8 දෙනෙකු වාර්තා වූයේ රාගම ප්‍රදේශයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 43 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් 25 දෙනෙකුම වාර්තාවූයේ කුලියාපිටිය ප්‍රදේශයෙනි. කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ද ඊයේ වාර්තා විය.මහනුවර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වූ බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.

පවතින තත්ත්වය හමුවේ මෙරට සිදුකරන දෛනික පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාවද යළි වැඩි කර තිබේ.ඒ අනුව ඊයේ දිනයේදී පමණක් මෙරටදී සිදුකර ඇති පී සී ආර් පරීක්‍ෂණ සංඛ්‍යාව 9,431 කි. මේ වනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින් 97,472 දෙනෙකු වාර්තා වී තිබේ.

ඉන් ආසාදිතයින් 93,547 දෙනෙකු සුවය ලබා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේය.ඒ අනුව තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 3,305 දෙනෙක් පමණි. මෙරටින් ඊයේ දිනයේදී තවත් කොරෝනා මරණ 5 ක් වාර්තා විය.

එලෙස මියගොස් ඇත්තේ මට්ටක්කුලිය, පානදුර, රත්නපුර, යාපනය සහ හොරණ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් පස් දෙනෙකි. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 625 දක්වා ඉහළ ගොස් තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments