Friday, May 24, 2024
HomeLocalගිනි ගන්නා නැවේ සුන්බුන් ඇල්ලූ පුද්ගලයින් කිහිපදෙනෙකුට ආසාද්මිකතා

ගිනි ගන්නා නැවේ සුන්බුන් ඇල්ලූ පුද්ගලයින් කිහිපදෙනෙකුට ආසාද්මිකතා

කොළඹ වරාය ආසන්නයේදි ගිනි ගැනීමට ලක්ව ඇති එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙරළට ගොඩ ගැසූ සුන්බුන් ඇල්ලූ පුද්ගලයින් කිහිපදෙනෙකුට ආසාද්මිකතා හට ගෙන ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ළහඳපුර පවසනවා. ඇය පෙන්වා දෙන්නේ සුන්බුන් ඉවත් කිරීමට අදාළ නිලධාරීන් නියමිත ක්‍රමවේද යටතේ මේවනවිටත් පියවර ගනිමින් සිටින බවයි. වෙරළට ගොඩගසා ඇති සුන්බුන් එක්රැස් කිරීම අවදානම් ක්‍රියාවක් බව ද සභාපතිවරිය සඳහන් කළා.

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. අමරසිංහ පැවසුවේ එවැනි සුන්බුන් වේ නම් 19 යි 81 ක්ෂණික දුරකතන අංකයට ඇමතුමක් ලබාදෙන ලෙසයි.
නෞකාවේ ගින්න මේවනතෙක් සම්පූර්ණයෙන්ම පාලනය කර නැහැ. ගින්න මේවනවිටත් නෞකාව පුරා ව්‍යාප්ත වී තිබෙනවා. නාවික හමුදාවේ දත්තවලට අනුව නෞකාවේ ඉදිරිපස ඇතිවූ ගින්න පාලක මැදිරිය පිහිටි නෞකාවේ පිටුපස දෙසට ව්‍යාප්තවී අවසන්.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසුවේ කාලගුණය අයහපත් වීම හේතුවෙන් ඕනෑම අවදානමකට මුහුණ දීමට සිදුව ඇති බවයි. කෙසේවෙතත් අද උදෑසන වනවිට නෞකාවේ ඉදිරිපස කොටසේ ගින්න යම්තාක් දුරකට පාලනය වී තිබෙනු දැකගත හැකි වූ බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ. නෞකාවේ ඉදිරිපස කොටස දැවී අවසන් වී තිබීම ඊට හේතුවක් වී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ගින්න මැඩපැවැත්වීම සඳහා මේවනවිටත් ඉන්දීය යාත්‍රා ඇතුළු යාත්‍රා රැසක් තවදුරටත් පුළුල් මෙහෙයුමක නිරත වනවා. නෞකාවේ ඉන්ධන ගබඩා කර ඇති ස්ථානය දෙසට ගින්න ව්‍යාප්තවුවහොත් සිදුවිය හැකි අනතුර තවත් වැඩිවිය හැකි බවටයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනුමාන කරන්නේ. ඊට හේතුවී ඇත්තේ නෞකාව තුළ ඉන්ධන මෙටි්‍රක් ටොන් 278 ක් ගබඩා කර තිබීම හේතුවෙන්. නෞකාව දෙකට කැඩී සාගරයේ ගිලී ගියහොත්, මෙම ඉන්ධන තොගය සාගර ජලයට එක්වීමේ දැඩි අවදානමක් පවතිනවා. ගිනි ගැනීමකට ලක්වුවද, මෙම ඉන්ධන තොගයෙන් සියයට 50 ක්වත්, සාගරයට ජලයට මුසුවනු ඇති බවටයි පැවසෙන්නේ. නෞකාවෙන් සාගරයට මුසුවූ තෙල් පැල්ලම් තවදුරටත් දැකගත හැකියි. ඒවා කැළණි ගග සිට මා ඔය දක්වා වූ වෙරළ ප්‍රදේශය පුරා පැතිර යා හැකි බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් පැවසුවේ. නෞකාව සම්පූර්ණයෙන් විනාශ වුවහොත් මෙරට සමුද්‍රීය පද්ධතිය ඇතුලු සමස්ථ පරිසරයට දැඩි අහිතකර බලපෑම් ඇති විය හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය ද පවසනවා.

නෞකාවේ බහාලුම් 1,487 ක ඇති සමස්ථ ද්‍රව්‍යවල බර ටොන් 74,000 ක් පමණ වන අතර නෞකාව තුල නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25 ක් පමණ පවතින බවටයි පැවසෙන්නේ.

- Advertisment -

Most Popular

Recent Comments