Friday, May 24, 2024
HomeLocalඇස්ට්‍රාසෙනිකා එන්නත් වලට වැඩි මුදලක් ඉල්ලයි

ඇස්ට්‍රාසෙනිකා එන්නත් වලට වැඩි මුදලක් ඉල්ලයි

ඇස්ට්‍රාසෙනිකා එන්නත් පළමු මාත්‍රාව ලබා දුන්නත් දෙවන මාත්‍රාවේ හිඟයක් මේ වනවිට රටතුල පවතී. එයට හේතුවුයේ ඉන්දියාව අප රටට එන්නත් ලබාදීම නවත්විමයි. කෙසේ නමුත් දෙවන මාත්‍රාව ලබාදීම සඳහා මේවනවිට හිග වී ඇති ඔක්ස්ෆර්ඩ ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබා ගැනීම සඳහා මේවනවිට ලෝකයේ රටවල් කිහිපයක් සමග සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. ඒ, කැබිනට් මණ්ඩලය මගින් පත් කෙරුණු ටෙන්ඩර් කමිටුවක් මගින්. මෙම කමිටුව පත් කෙරුණේ ඇස්ට්‍රාසෙනිකා එන්නත් වැඩි වශයෙන් ලබාගෙන ගබඩා කර ඇති රටවලින් එම අතිරික්ත එන්නත් ලබාගැනීමට ඇති හැකියාව පිළිබඳ සොයා බැලීමටයි. කොරෝනා ආසාදිතව සිදුවන මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම, ඇස්ට්‍රාසෙනිකා ඇතුළු කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ප්‍රමුඛ අරමුණක්. ඒ අනුව මෙම කමිටුව ශ්‍රී ලංකාවට ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාදෙන ඉන්දියාවේ එන්නත් ආයතන සමග ද යළි සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. මෙහිදී ඔවුන් වැඩි මිලකට එන්නත් ලබාදිය හැකි බව පවසන බැවින් එම සාකච්ඡා අසාර්ථක වී තිබෙනවා. දැනට ශ්‍රී ලංකාවට හිගවී ඇති ඇස්ට්‍රාසෙනිකා එන්නතේ එක් මාත්‍රාවක් මීට පෙර ඉන්දියාවේ එන්නත් ආයතන, ශ්‍රී ලංකාවට ලබා දී තිබුණේ අමෙරිකානු ඩොලර් 5 කටයි. එහෙත් මේවනවිට ඔවුන් එක් මාත්‍රාවක් සඳහා අමෙරිකානු ඩොලර් 20 ක මිලක් නියම කර ඇති බවටයි වාර්තා වන්නේ. ඒ අනුව ඉන්දියාවෙන් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ හිග මාත්‍රා මිලදී ගැනීමේ උත්සහය අත්හැර දැමීමට තීරණය කර ඇති බව ද සෞඛ්‍ය ආරංචි මාර්ග පවසනවා. මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කෙරුණේ ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදෙමින්. මේවනවිට එහි පළමු මාත්‍රාව පුද්ගලයින් නව ලක්ෂ 25,242 දෙදෙනෙකුට ලබා දී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව ද සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව තුන් ලක්ෂ 41,541 ක්. ඒ අනුව සෙසු පිරිසට එන්නත් ලබාදීම සඳහා තවත් මාත්‍රා ලක්ෂ 06 කට ආසන්න සංඛ්‍යාවක හිග තත්ත්වයක් පවතිනවා.

චීනයෙන් ලැබුණු සයිනොෆාම් එන්නතේ මාත්‍රා එක් ලක්ෂ 25,000 ක් ජනතාවට ලබාදීම ඊයේ ආරම්භ කෙරුණා. ඒ, කුරුණෑගලට 50,000 ක්, ගාල්ලට 50,000 ක් සහ මාතරට 25,000 ක් වශයෙන්. චීනයෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් ලැබුණද, ඉතිරි තුන්ලක්ෂ 75,000 සයිනොෆාම් එන්නතේ දෙවන මාත්‍රාව වෙනුවෙන් වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ඒ, ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාදීමේදී සිදුවූ තත්ත්වය ද සැලකිල්ලට ගනිමින්. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදිය යුතු බවට පැවසෙන්නේ පළමු මාත්‍රාව ලබාදී සති 16 කින් පසුවයි. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබා ගැනීමෙන් වුවද, ඉන් ශරීරයට සාර්ථක බලපෑමක් ඇති බවටයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ දක්වා චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11 ක් මෙරටට ලැබී තිබෙනවා. ඒ, චීන ආධාර වශයෙන්. තවත් එන්නත් මාත්‍රා මිලියන 03 ක් ජූනි මස 15 වනදා පමණ වනවිට ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ. එම එන්නත් මාත්‍රා තොගය ජුනි මස මුල් සතියේදී ලැබෙනු ඇති බවටයි මීට පෙර වාර්තා පළවුණේ.මේ අතර මහනුවර ජනතාවට ස්පුට්නික් ෆයිව් එන්නත ලබාදීම සම්බන්යෙන් ද මේවනවිට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. එක් මාත්‍රාවක් පමණක් ලබාදිය හැකි ස්පුට්නික් ලයිට් එන්නත මෙරටට ගෙන්වා ගැනීම කෙරෙහි මේවනවිට අවදානය යොමුව ඇතැයි සඳහන්. ස්පුට්නික් එන්නතක මිල අමෙරිකානු ඩොලර් 9 යි 50 ක්. සයිනොෆාම් එන්නතක මිල අමෙරිකානු ඩොලර් 15 ක් වනවා. අමෙරිකානු පර්යේෂකයින් පිරිසක් සයිනොෆාම් එන්නත පිළිබඳ 03 වන සායනික පරීක්ෂණ වාර්තාව එළි දක්වමින් ඊයේ පැවසුවේ එම එන්නතේ මාත්‍රා 02 කම ලබා ගැනීමෙන් පසු ඉන් ලැබෙන ආරක්ෂාව සියයට 78 කට වඩා වැඩි බවයි.

- Advertisment -

Most Popular

Recent Comments