Friday, May 24, 2024
HomeLocalදක්ෂිණ අධිවේගයේ කපුදූව හුවමාරුව ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගයේ කපුදූව හුවමාරුව ජනතා අයිතියට

දක්ෂිණ අධිවේගයේ කපුදූව හුවමාරුව සහ පේරාදෙණිය රෝහල ඉදිරිපිට පදික යටිබිම් මාර්ගය ජනතා අයිතියට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට පදික යටිබිම් මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ කපුදූව අන්තර් හුවමාරු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කෙරිණ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ව්‍යාපෘති ජනතා අයිතියට කරනු ලැබුවේ, අරලියගහ මන්දිරයේ සිටයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 130 වැනි කිලෝ මීටර් කණුව ප්‍රදේශයේ ඉදිකළ කපුදුව අන්තර් හුවමාරුවෙන් කඹුරුපිටිය, මාතර හා හක්මන නගර වෙත ඉතා පහසුවෙන් ළඟා විය හැකියි.

රුපියල් මිලියන 445 ක් වැය කර ඇති එහි ඉදිකිරිම් මාස 5ක කාලයකින් නිම කරනු ලැබ ඇත්තේ චීන සමාගමක් විසිනි.

චීන එක්සිම් බැංකුවේ ආධාර යටතේ රුපියල් මිලියන 127 ක් වැය කර ඉදිකළ පේරාදෙණිය ශික්ෂණ රෝහල ඉදිරිපිට යටිබිම් හරස් මග පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබා ගැනීමට පමිණෙන රෝගීන්ට දැඩි පහසුවක් වන අතර එය ඉදිකිරීම සඳහා මාස 12 ක කාලයක් වැය වී තිබේ.

මෙම යටිබිම් හරස්මග හේතුවෙන් නුවර පාරේ වාහන තදබදය අවම වන අතර පදික වෙළඳාමට ද පහසුකම් හිමිවන බව මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ය.

උත්සවයේදී වරාය පිවිසුම් මාර්ග ව්‍යාපෘතිය සඳහා ඉවත් කළ කොළඹ වරායේ ගොඩනැගිලි වෙනුවෙන් ඉදිකෙරන සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය සඳහා මුල් ගල තැබීම ද සිදු කෙරිණ.

මහල් 17 කින් යුක්තව මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිතයි.

රුපියල් මිලියන 4099 ක් වැය කෙරෙන සමුද්‍ර පහසුකම් සැලසීමේ මධ්‍යස්ථානය ඉදිකිරිම් වසර දෙකකින් අවසන් කිරිමට සැලසුම් කර තිබේ.

මේ තුළින් වරාය අධිකාරියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට ද අපෙක්ෂිත බව මහාමාර්ග අමාත්‍යංශය සඳහන් කළේ ය.

- Advertisment -

Most Popular

Recent Comments