Wednesday, January 22, 2025
HomeUncategorizedකොදෙව් යොවුන් කණ්ඩායමට ජය

කොදෙව් යොවුන් කණ්ඩායමට ජය

වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි හය දෙනාගේ වටයේ සහභාගී වූ පළමු තරගයේදීම පරාජයේ අමිහිරි අත්දැකීම විඳගන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවුණි.

ඒ තියුණු සටනකින් පසුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරගය කඩුලු තුනකින් ජය ගැනීමත් සමගය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන්ට මූලික වටයේ තරග තුනේදී මෙන්ම අද තරගයේදීත් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබාදීමට නොහැකිවිය..

මූලික වටයේදී මෙන්ම අදත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය ආරක්ෂා කිරීමට සමත් වූයේ දිනුර කළුපහන ඇතුළු මැදපෙළ පිතිකරුවන් පිරිසය.

දිනුර කළුපහන මෙවර 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී වාර්තා කළ තුන්වන අර්ධ ශතකයත් සමගින් පන්දු 83කදී ලකුණු 53ක් රැස්කළේය.

දිනුරට අනගි සහයක් ලබාදුන් මල්ෂ තරුපති පන්දු 38කදී හතරේ පහර 7ක් සමගින් රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 42කි.

ඒ අනුව ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දුවාර 50දී සියලුදෙනා දැවී ලකුණු 231ක් රැස් කිරීමට සමත්විය.

ලකුණු 232ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොදෙව් යොවුන් පිල  කඩුලු 4ක් දැවී ලකුණු 149න් ලබා ප්‍රබල ස්ථානයක පසුවිය.

දිනුර කළුපහන ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නන් තවත් කඩුලු 3ක් අඩු ලකුණු සංඛ්‍යාවකට දවා ගත්තද එය ශ්‍රී ලංකා ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය.

ඒ අනුව කොදෙව් යොවුන් කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය.

- Advertisment -

Most Popular

Recent Comments