Friday, May 24, 2024
HomeLocalජපාන රජය ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය...

ජපාන රජය ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීමට කැපවෙයි

ආයෝජන සහ ආර්ථික වර්ධනය සඳහා සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සඳහා මුලපිරීම දියත් කරයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය විසින් ‘දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය දීම ඔස්සේ ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීම’ යන නව ව්‍යාපෘතිය දියත් කරන ලදී. ජ්‍යේෂ්ට රාජ්‍ය නිලධාරීන් රැසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ පවතින සමාජ-ආර්ථික අර්බුදය හේතුවෙන් මෙතෙක් අත්පත් කරගන්නා ලද සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරී තිබේ. රටේ ආර්ථික අර්බුදයට ප්‍රධාන දායකත්වයක් සපයන ගැඹුරු මුල් බැසගත් හේතු ලෙස විනිවිදභාවය සහ වගවීම සම්බන්ධ අඩුපාඩු හඳුනාගෙන තිබේ. නව ව්‍යාපෘතිය මගින් නිශ්චිත කාලයක් තුළ ජාතික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ සිදුකිරීම, පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව සහ වැඩිදියුණු කළ ආයතනික හැකියාව ඔස්සේ ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී සමාජ පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා කටයුතු කරනු ලැබේ. අස්ථාවරත්වයෙන් ගොඩ ඒමට සහ ඔරොත්තු දෙන, විශ්වාසවන්ත ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය මාර්ග සිතියමක් එමගින් ශ්‍රී ලංකාවට ලබා දෙනු ඇත.  

ජපන් රජය විසින් ජපන් පරිපූරක අයවැයෙන් (JSB) වෙන් කරන ලද යෙන් මිලියන 137ක (ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් 931,000 ) ආධාර මගින් ‘දූෂණ විරෝධී ප්‍රතිපත්තිවලට සහාය ලබාදීම හරහා ආර්ථික පාලනය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය’ ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ක්‍රියාත්මක කරනු ලැබේ. යෝජිත ව්‍යාපෘතිය විසින් (1) නෛතික සහ ප්‍රතිපත්ති රාමු ශක්තිමත් කිරීමට උත්සාහ කරයි; (2) මූල්‍ය හා බදු අපරාධවලට එරෙහිව සටන් කරන ප්‍රධාන ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි; (3) ප්‍රධාන ප්‍රතිඵල තුනක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන උපාය මාර්ගික ක්‍රියාමාර්ග හරහා දූෂණයට එරෙහිව සටන් කිරීමට උපාය මාර්ගික ආයතනවල සහ පුද්ගලයන්ගේ කුසලතා සහ හැකියාවන් වැඩි දියුණු කරයි.

ශ්‍රී ලංකාවේ ජනතාවට සහය දැක්වීමට ජපානයේ කැපවීම අවධාරණය කරමින් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදේකි මහතා මෙසේ සඳහන් කළේය: “විදේශීය ආයෝජකයින්ට වඩාත් ව්‍යාපාරික හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා දූෂණ විරෝධී පියවර ඉතා වැදගත් වේ. ජපානය මෙම අංශයේ වැඩිදියුණු කිරීම්වලට සහාය වීමට කැමතිය. එමගින් අපගේ ව්‍යාපාරික සබඳතා පුළුල් කරගැනීමට අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාවේ සාධාරණ ආර්ථික පාලනය සහ දූෂණ විරෝධී මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම සඳහා ජපන් රජය කැපවී සිටින බවත්, අපගේ සාමූහික ප්‍රයත්නවල ප්‍රත්‍යක්ෂ බලපෑම දැකීමට අපි උනන්දුවෙන් අපේක්ෂා කරන බවත් මම නැවත වරක් තහවුරු කිරීමට කැමැත්තෙමි.”

දූෂණ විරෝධී පරිසර පද්ධතිය තුළ ඉලක්කගත, නිශ්චිත කාලයක් තුළ සිදුවන, ධාරිතා සංවර්ධනය ඔස්සේ දූෂණ වැළැක්වීම, විමර්ශනය සහ නඩු පැවරීම හරහා දූෂණයට එරෙහිව සටන් කිරීම සඳහා පුළුල් ප්‍රවේශයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇත. කාර්යක්ෂම සහ පුරෝකථනය කළ හැකි රාජ්‍ය සේවා සැපයීමක් උදෙසා මෙය දායක වනු ඇත. දූෂණයට එරෙහිව ආරක්ෂාවක් ලෙස ක්‍රියා කරන නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කරනු ඇත. සමාජ-ආර්ථික අර්බුදයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීම සඳහා තීරණාත්මක වන සෘජු විදේශ ආයෝජන දිරිමත් කරනු ඇත. 

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි කාර්යභාරය පිළිබඳව අදහස් දක්වමින් එහි ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය පහත දැක්වෙන කරුණු අවධාරණය කළාය: “ශ්‍රී ලංකාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම සහ එහි ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා, වගවීමෙන් යුක්ත සහ විනිවිද පෙනෙන පද්ධති සහ ආයතන අතිශයින්ම අත්‍යවශ්‍ය බව පැහැදිලිය. ජපානය සමඟ හවුල්කාරිත්වය විසින් ආර්ථික පාලනය ශක්තිමත් කිරීම සඳහා අපගේ දැනට ක්‍රියාත්මක සහ සැලසුම් කර ඇති ක්‍රියාකාරකම් සම්පූර්ණ කරනු ලැබේ. බාධාවකින් තොරව සහයෝගයෙන් කටයුතු කිරීමට ආයතන සවිබල ගැන්වීමේ පරිපූර්ණ ප්‍රවේශයක් එමගින් ප්‍රවර්ධනය කරනු ඇත. JSB සහාය උත්ප්‍රේරකයක් ලෙස සේවය කරනු ඇත. එමගින් පුද්ගල හැකියාවන් වැඩිදියුණු කරයි. එපමණක් නොව, වඩාත්ම තීරණාත්මක කාරණය වන්නේ, දූෂණයට එරෙහි සටනේදී එක්සත් වීම සඳහා සාමූහික හැකියාව වැඩි දියුණු කිරීමයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ අපි ඒ සම්බන්ධයෙන් ජපාන රජයට බෙහෙවින් ස්තූතිවන්ත වෙමු.

තිරසාර සංවර්ධනය සඳහා සාමකාමී සහ සියල්ලන් ඇතුළත් සමාජයන් ප්‍රවර්ධනය කිරීම, සැමට යුක්තිය සඳහා ප්‍රවේශය ලබා දීම සහ ඵලදායී, වගවීමෙන් යුක්ත සහ සියල්ලන් ඇතුළත් කරගන්නා ආයතන සෑම මට්ටමකදීම ගොඩනැගීම මගින් තිරසාර සංවර්ධන ඉලක්කවල 16වන ඉලක්කය (SDG16) සාක්ෂාත් කර ගැනීම සඳහා මෙම ව්‍යාපෘතිය යටතේ අපේක්ෂා කරන මැදිහත්වීම් සැලකිය යුතු ලෙස දායක වනු ඇත.

- Advertisment -

Most Popular

Recent Comments