Wednesday, July 31, 2024
HomeLocalසංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණය බාධාවක් නැහැ - කැබිනට් ප්‍රකාශක

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණය බාධාවක් නැහැ – කැබිනට් ප්‍රකාශක

විමධ්‍යගත අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර ඇති සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට මැතිවරණ නීතියෙන් බාධාවක් නොවන බවත් මෙම ව්‍යාපෘති මගින් කිසිදු අවස්ථාවක ජනාධිපති අපේක්ෂකයකු ප්‍රවර්ධනයක් සිදු නොවන බවත් කැබිනට් ප්‍රකාශක , ප්‍රවාහන හා මහාමාර්ග , ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (30) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම වසරේ දෙසැම්බර් මස 31 වැනි දින දක්වා වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අදාළ සංවර්ධන ව්‍යාපෘති අනිවාර්යෙන් සිදු කළයුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා එසේ නොකිරීම ජනතාවට කෙරෙන අසාධාරණයක් බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. එසේම මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ උපදෙස් පරිදි මෙම අවසන් කළ ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරෙන බව සඳහන් කළ අමාත්‍යවරයා කිසිවිටකත් මැතිවරණ නීති උල්ලංඝණය නොකරනබව පෙන්වා දුන්නේය.

එසේම මැතිවරණයට අදාළ ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ යොදා ගැනෙන බැවින් මේ වනවිට පවතින රියදුරු සහ කොන්දොස්තර හිඟය අවම කිරීමට සුදුසුකම්ලත් මෙම පිරිස් සේවයට බඳවා ගැනීමට තමා ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කර ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙම බඳවා ගැනීම් ද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ අවසර සහ උපදෙස් පරිදි සිදු කළ බවද අවධාරණය කළේය.

එමෙන්ම ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතීන් නිම කළ යුතු බව පෙන්වා දෙන අමාත්‍යවරයා, හංගේරියානු ආධාර මත ඉදිකෙරෙන ගැටඹේ ගුවන් පාලම නිරීක්ෂණය සඳහා හංගේරියානු තානාපතිවරයා තමාට ආරධනා කළ බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

- Advertisment -

Most Popular

Recent Comments