Wednesday, January 22, 2025
HomeLocalපාස්කු නඩුවේ සිතාසිය නීතියට පටහැනියි - මෛත්‍රීපාලගේ නීතිඥයා අභියාචනාධිකරණයට දන්වයි

පාස්කු නඩුවේ සිතාසිය නීතියට පටහැනියි – මෛත්‍රීපාලගේ නීතිඥයා අභියාචනාධිකරණයට දන්වයි

පෞද්ගලික පැමිණිල්ලක සැකකරුවකු ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා නිකුත් කර ඇති සිතාසිය නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ ආචාර්ය ෆායිස් මුස්තාපා මහතා අද (07)අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ය.

අදාළ පැමිණිල්ල ගොනුකර ඇත්තේ, සිරිල් ගාමිණී පියතුමා සහ එම ප්‍රහාරයේ වින්දිතයෙකු බවට පත්ව සිටින එන් ජේසුදාසන් නමැති පුද්ගලයෙකු විසින් ය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළ බවට චෝදනා කරමින් එය ගොනුකර තිබුණි.

පාස්කු ප්‍රහාර මාලාව වළක්වා නොගැනීමට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොනු කර ඇති රීට් ආඥා පෙත්සම, අද අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගැනුණි.

ඒ, අභියාචානාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ ය.

පෙත්සම්කාර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ ආචාර්ය ෆායිස් මුස්තාපා මහතා එහිදී සඳහන් කළේ, සිය සේවාදායකයා සැකකරුවෙකු ලෙස නම් කරමින් ගොනුකර ඇති පැමිණිල්ලට අදාළව සිතාසි නිකුත් කර ඇති ආකාරය, නීතියට පටහැනි බවයි.

නිසි සාක්ෂි ඇගයීමකින් තොරව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර ඇතැයි ද, ජනාධිපති නීතිඥවරයා කරුණු දක්වමින් අවධාරණය කළේ ය.

පෙත්සම, දෙසැම්බර් මස 17 වැනිදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

- Advertisment -

Most Popular

Recent Comments