Wednesday, July 31, 2024
HomeLocalදුම්රිය බලපත් ගත්තේත් නීතියට අනුවයි – සමස්ත ලංකා හෙද සංගමය ‘කැෆේ’ට ලියයි

දුම්රිය බලපත් ගත්තේත් නීතියට අනුවයි – සමස්ත ලංකා හෙද සංගමය ‘කැෆේ’ට ලියයි

සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික වාර්ෂික සමුළුවට නිල ඇඳුමෙන් සහභාගි වූයේත්, රාජකාරි නිවාඩු හා දුම්රිය බලපත්‍ර ලබා ගත්තේත් නීත්‍යනුකූල පදනමක සිට බව දන්වා ‘සමස්ත ලංකා හෙද සංගමය’, ‘කැෆේ’ සංවිධානය වෙත ඊයේ (30දා) ලිපියක් යොමු කර ඇත.

පසුගිය 28 දා පැවැත්වූයේ ජාතික ජන බලවේගයේ සමුළුවක් නොවන බවත්, එය සිය සංගමයේ ජාතික වාර්ෂික සමුළුව බවත්, එම සංගමය සිය ලිපිය මගින් කැෆේ සංවිධානය වෙත පෙන්වා දී තිබේ.

‘නිල ඇඳුමෙන් සැරසී වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීම ද නීති විරෝධී, සදාචාර විරෝධී ක්‍රියාවක්’ ලෙස කැෆේ සංවිධානය කර ඇති සඳහන පිළිබඳව සිය ලිපිය මගින් කරුණු විමසා ඇති ‘සමස්ත ලංකා හෙද සංගමය’ නිල ඇඳුම හා වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳව අන්තර් සම්බන්ධයෙන් දැක්වෙන මාර්ගෝපදේශ හෝ නීති රීති තමන් දැක නැති බැවින්, එසේ තිබේ නම් තමන් දැනුවත් කරන ලෙසත් එසේ නොමැති නම් ඈත මෑත ඉතිහාසයේ හෙද අරගල පිළිබඳව යම් නිරීක්ෂණයක් සිදුකර, ඒවා සිදුකර ඇත්තේ නිල ඇඳුමෙන් ද නැද්ද යන්න පිළිබඳව තහවුරු කර ගන්නා ලෙසත් යෝජනා කර ඇත.

එසේම ස්වාධීන යැයි නම් ලද නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ සංවිධානය) කිසිදු පදනමකින් තොරව කලබල වීම හා ප්‍රකාශ නිකුත් කිරීම කැෆේ සංවිධානයේ ස්වාධීනත්වයට සුදුසු නොවන බව ද, සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති, රවීන්ද්‍ර කහඳව ආරච්චි මහතාගේ අත්සනින් යුත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

- Advertisment -

Most Popular

Recent Comments