Friday, May 24, 2024
HomeLocalකරන්නට ඕනෑ තරම් දේ තිබියදී ඇමති ගම්මන්පිල කොළොන්නාවට CCTV සවි කිරීමට වෘත්තීය...

කරන්නට ඕනෑ තරම් දේ තිබියදී ඇමති ගම්මන්පිල කොළොන්නාවට CCTV සවි කිරීමට වෘත්තීය සමිති වල විරෝධය

අද වන විට මෙරට රාජ්‍ය සේවයේ යම් යම් අංශ විවිද විරෝධතා හා උද්ගෝෂණ මෙන්ම සංකේත වැඩ වර්ජන පවා සිදු කිරීමට කටයුතු කරමින් සිටී.ඒ අනුව තවත් එවැනි වෘත්තීය ක්‍රියාමාර්ගයක් පිළිබඳව මේ වන විට ආණ්ඩුව දෙසට රතු එළියක් නිකුත් කර තිබේ.

ඒ අනුව කොළොන්නාව ඛනිජ තෙල් තොග පර්යන්තයට (සී.පී.එස්.ටී.එල්.) හදිසියේම රුපියල් මිලියන 125ක් වැය කොට ආරක්ෂිත කැමරා පද්ධති සවි කිරීමේ ව්‍යාපෘතිය අවලංගු නොකළහොත් නැවත දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව වෘත්තීය සමිති අනතුරු හඟවා ඇත.

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය හා වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය බලශක්ති අමාත්‍යවරයාට හා සී.පී.එස්.ටී.එල්. ආයතනයේ සභාපතිවරයාට මේ බව දන්වා යවා තිබේ.

අවස්ථා කිහිපයකදී රුපියල් මිලියන ගණනක් වියදම් කර ආරක්ෂිත කැමරා පද්ධති සවිකර අපේක්ෂිත ප්‍රතිඵල නොමැතිව ඒවා ගලවා ගබඩාවල ගොඩගසා තිබියදී යළිත් අසාර්ථක ව්‍යාපෘතියකට සූදානම් වන බව වෘත්තීය සමිති පෙන්වා දී ඇත.

අලුතින් බවුසර් මිලදී ගැනීම, ඉන්ධන නළ පද්ධති අලුත්වැඩියාව, සේවක සුබසාධනය වැනි අත්‍යවශ්‍ය කාරණා තිබියදී මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වැයවන මුදල් සම්බන්ධ වගකීම ආයතන බලධාරීන් භාරගත යුතු බව වෘත්තීය සමිති ලිඛිතව දැනුම් දී ඇත.

වෘත්තීය සමිතිවල සියලුම ඉල්ලීම් හා යෝජනා ඉදිරිපත් කිරීමට තමන් වෘත්තීය සමිති ලබන 23 වැනිදා හමුවන බවත්, එහිදී මෙම කාරණය සම්බන්ධව ද සාකච්ඡා කිරීමට වෘත්තීය සමිතිවලට ඉඩ තිබෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ‘අරුණ’ කළ විමසුමකදී සඳහන් කර තිබේ.

- Advertisment -

Most Popular

Recent Comments