මේ දින වල ආණ්ඩුව පාර්ශවයෙන් මැති ඇමැතිවරුන් අතර යම් යම් පරස්පරතාවයන් නිර්මාණය වන බව දැක ගත හැකිය.ඒ බව සනාථ කරමින් ඉකුත් 10 වැනිදා දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කළ ප්‍රකාශයක් අසත්‍ය බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑනු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසයි.
කැබිනට් ප්‍රකාශක සඳහන් කළ පරිදි කාබනික කොම්පෝස්ට් පොහොර ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය කිසිසේත්ම අවසරයක් ලබාදී නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කරන ලදී.
2021/ 22 මහ කන්නය සඳහා කාබනික පොහොර හා කීලේටඩ් අංශු මාත්‍ර ශාඛ පෝෂක ආනයනය කිරීම සඳහා ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාදී ඇති බවත් ඒ වෙනුවෙන් දේශීය කාබනික පොහොර නිෂ්පාදනයෙන් සම්පූර්ණ අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකි බැවින් මෙම විශේෂිත පොහොර කාබනික පොහොර හැටියට රටට ගෙන්වා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑමට කැබිනට් අනුමැතිය ගරු කෘෂිකර්ම ඇමතිතුමාට ලබාදී ඇති බවත් පසුගියදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරන ලදී.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් ඊයේ (11) දින අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසා සිටියේ එවැනි කිසිඳු අවසරයක් කැබිනට් මණ්ඩලය ලබාදී නොමැති බවයි.