Monday, May 20, 2024
HomeSportsඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක්

ඇෆ්ගනිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකාවට පූර්ණ එක්දින තරගාවලි ජයක්

සංචාරක ඇෆ්ගනිස්ථානයට එරෙහිව තරග 3ට 0ක් ලෙස පූර්ණ එක්දින තරගාවලි ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව අද (14) සමත් විය.

ඒ දෙරට අතර අවසන් එක්දින ක්‍රිකට් තරගයත් කඩුලු  7කින් ජය ගනිමිනි.

තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඇෆ්ගනිස්ථානය පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය වන රහ්මනුල්ලා ගුර්බාස් සහ ඊබ්‍රහිම් සද්රාන්ට සාර්ථක ලකුණු සබඳතාවක් ගොඩනැගීමට නොහැකිවිය.

ගුර්බාස් ලකුණු 48ක් රැස් කළ අතර, නායක හෂ්මතුල්ලා ශහීඩි ලකුණු 5යි.

අකිල ධනංජය එම කඩුලු දෙකම දවා ගැනීමට සමත් විය.

රහ්මත් ශා සහ අස්මතුල්ලා ඔමාර්සායි සිව්වැනි කඩුල්ලට ලකුණු 58ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ රහ්මත් ශා ලකුණු 65යි.

අස්මතුල්ලා ඔමාර්සායි ලකුණු 54ක් රැස් කළේ ය.

ඇෆ්ගනිස්ථාන අවසන් කඩුලු 4 බිඳ වැටුණේ ලකුණු 16කදීයි.

ප්‍රමෝද් මදුශාන් කඩුලු 3යි.

පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 266ක්.

අවිශ්ක ප්‍රනාන්දු සහ පැතුම් නිස්සංක ලකුණු 267ක ඉලක්කයකින් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළේ ය.

ආරම්භයේ සිටම ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නට පිටිය සිසාරා පන්දු පහර ක්‍රියාත්මක කිරීමට අවිශ්ක සහ පැතුම් සමත් විය.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට එක් කළ සබදතාවය ලකුණු 173ක්.

අවිශ්ක ප්‍රනාන්දු සිව්වැනි එක්දින ශතකය ආසන්නයට පැමිණ, ලකුණු 91කට අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වූයේ  කයිස් අහමඩ්ගේ පන්දුවක් හමුවේයි.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ සුපිරි පිතිකරු පැතුම් නිස්සංක අද එක්දින පිටියේ පස්වැනි ශතකය රැස් කිරීමට සමත් විය.

ඔහු ශතකය සම්පූර්ණ කළේ පන්දු 89කිනි.

නායක කුසල් මෙන්ඩිස් ලකුණු 40යි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ පැතුම් නිස්සංක ලකුණු 118කට දැවී ගියේ ය. 

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ කඩුලු 3ක් දැවී සිටියදීයි.

ඒ අනුව තරග 3කින් සමන්විත තරගාවලියේ සියලු තරග ශ්‍රී ලංකාව ජය ගත්තේ ය.

ඔවුන් පූර්ණ එක් දින තරගාවලි ජයග්‍රහණයක් ලබා ගත්තේ වසර 2කට පසුවයි.

- Advertisment -

Most Popular

Recent Comments